පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රැස්වීම් තහනමට එරෙහිව සසජාතශි/සසප උද්ඝෝෂනය කරයි

[මෙය IYSSE/SEP (Sri Lanka) campaigns against meeting ban at Peradeniya University යන මැයෙන් 2025 ජනවාරි 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින්, “ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන්, ජනවාරි 3 වන දින පැවත්වීමට නියමිත ව තිබූ රැස්වීමට පැනවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී තහනමට එරෙහිව, පසුගිය අඟහරුවාදා (21) දින, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පිවිසුම් දොරටුව අසලදී, උද්ඝෝෂනයක් පැවැත්වීය.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහිව, 2025 ජනවාරි 21 වන දින, පිකට් කරන සසප සහ සසජාතශි සාමාජිකයින් සහ ආධාරකරුවන්

දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිසං) විසින් අනුග්‍රහය දක්වන ලද රැස්වීම වැඩබලන උපකුලපති රංජිත් පල්ලේගම විසින් තහනම් කරන ලදී. ඔහු දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට උපදෙස් දී තිබුනේ, “ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට” අභියෝග කිරීමක් “නොපෙනෙන පරිදි” රැස්වීමේ මාතෘකාව වෙනස් නොකලහොත් රැස්වීම අවලංගු කරන ලෙසයි.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව හෙලා දකින සසජාතශි ප්‍රකාශයට සිසුන්, ගුරුවරුන් සහ කම්කරුවන්ගෙන් වහාම සැලකිය යුතු සහයෝගයක් ලැබුනි. සංස්ථාපිත මාධ්‍යවල අදහස් දැක්වීම් සහ පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්නය මතුකිරීමත් සමඟ තහනම ජාතික ගැටලුවක් බවට පත්විය.

මෙම ගැටලුව සිසුන් විසින් මතු කිරීම වැලැක්වීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ටෙරන්ස් මධුජිත්, ජනවාරි 15 ​​වන දින, කිසිදු හේතුවක් නොදක්වා ම, පේරාදෙනිය ශිෂ්‍ය සංගමයේ (පේශිසං) සහ පීඨ සංගම්වල සියලු ක්‍රියාකාරකම් තහනම් කලේය. දින දෙකකට පසු ඔහු පුලුල් තහනම අවසන් කලේ නැවතත් කිසිදු පිලිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකරමිනි.

කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල බලධාරීන් සසජාතශි දේශනයට පනවා තිබූ තහනම ඉවත් කර නැත.

අඟහරුවාදා, විශ්ව විද්‍යාල පරිශ්‍රයට පිවිසෙන ප්‍රධාන දොරටුව වන ගලහ මංසන්ධියේදී, සසජාතශි සහ සසප සාමාජිකයින් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂනයේ නිරත වූහ. 'කප්පාදු ප්‍රතිපත්තිවලට එරෙහි සසජාතශි රැස්වීමට පේරාදෙනිය විශ්ව විද්‍යාලය පනවා ඇති තහනම ඉවත් කරනු', 'විශ්ව විද්‍යාල තුල කතා කිරීමේ නිදහසට අත නොතබනු' සහ 'විශ්ව විද්‍යාලවල සසජාතශි ශාඛා ගොඩනඟනු' ආදී සටන් පාඨ ඒවයේ ලියා තිබුනි.

උද්ඝෝෂකයෝ, 'ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය සසජාතශි දේශනය තහනම් කිරීම සාධාරනීකරනය කිරීමට උත්සාහ කරයි' යන අලුත් ම සසජාතශි ප්‍රකාශයේ සිංහල සහ දෙමල භාෂා පිටපත් දහසකට වඩා බෙදාහැරියහ.

මෙම උද්ඝෝෂනය, කම්කරුවන්, සිසුන් සහ තවත් බොහෝ අයගේ අවධානය දිනා ගත්තේය. සසප/සසජාතශි සාහිත්‍ය මේසයට, විශ්ව විද්‍යාල සිසුන්, කථිකාචාර්යවරුන් සහ කම්කරුවන් විශේෂ අවධානයක් යොමු කල අතර, ඇතම් අය මාක්ස්වාදී පොත්පත් මිලදී ගත්තෝ ය. සසජාතශි රැස්වීම අවලංගු කිරීමට ඔවුහු සිය දැඩි ලෙස විරුද්ධත්වය පලකලහ.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහි උද්ඝෝෂනයට සහභාගී වූ කලා පීඨ සිසුන් දෙදෙනෙක්

කලා පීඨයේ ශිෂ්‍යාවක් වන තරුෂි පැවසුවේ, සසජාතශි රැස්වීම තහනම් කිරීම ගැන ඇය දැන ගත්තේ ඇගේ මිතුරන්ගෙන් බවයි. 'ඔබේ ප්‍රකාශ සහ ලිපි පැහැදිලි කරන පරිදි, මෙය භාෂනයේ නිදහසට සහ අධ්‍යයන නිදහසට එල්ල කරන ප්‍රහාරයක්' ඇය කීවා ය.

පේරාදෙනිය ශිෂ්‍ය සංගමය ගැන සඳහන් කරමින් ඇය මෙසේ පැවසුවාය: “මේ ප්‍රහාරය, විශ්ව විද්‍යාල තුල සහ ඉන් ඔබ්බට ඇති සියලුම ශිෂ්‍ය සංගම් සහ කන්ඩායම් කෙරෙහි පුලුල් ඇඟවුම් තියෙද්දිත්, ශිෂ්‍ය සංගමය විසින් පවත්වා ගෙන යන උදාසීන නිහඬතාවය ගැන මට පුදුම යි.”

ඇගේ මිතුරන් ගනනාවක් ම එම මතය දැරූ මුත්, හිරිහැර කිරීම් වලට ඇති බිය නිසා ඔවුන් ඉදිරියට ඒමට පැකිලෙන බව ඇය පැහැදිලි කලාය. සසජාතශි සාමාජිකයින්, 1950 සහ 60 ගනන්වල විශ්ව විද්‍යාල තුල පැවති සාපේක්ෂ අධ්‍යයන නිදහස ඇගේ අවධානයට යොමු කිරීමත් සමඟ සජීවී සාකච්ඡාවක් වර්ධනය විය. ට්‍රොට්ස්කිවාදීන් දශක ගනනාවක් තිස්සේ විශ්ව විද්‍යාල තුල පශ්චාත් නූතනවාදය සහ පැබ්ලෝවාදය ඇතුලු මාක්ස්වාද-විරෝධී ප්‍රවනතාවන්ට එරෙහිව දිගටම සටන් වදිමින් සිටීමේ කාරනය සම්බන්ධයෙන් ඇය උද්‍යෝගිමත් ලෙස ප්‍රතිචාර දැක්වූවා ය.

වෛද්‍ය පීඨයේ දනිදු සාකච්ඡාවට එක්වෙමින් සසජාතශි රැස්වීම අවලංගු කිරීමට දැඩි ලෙස විරෝධය පල කලේය. “මම මෙන්ම, උපකුලපතිවරයාගේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරුද්ධ තවත් බොහෝ සිසුන් ඉන්නවා,' ඔහු පැවසීය. ශිෂ්‍ය සංගම්වල නිහඬතාවය ගැන සිය කලකිරීම ප්‍රකාශ කරන අතරම, ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “කෙසේ වෙතත්, මෙම බියගුලු ප්‍රතිචාරය ගැන මම පුදුම වෙන්නෙ නැහැ, මොකද, ඔවුන් බලයට පත්වීමෙන් පසු මැතිවරන පොරොන්දු සම්පූර්නයෙන්ම අතහැර දමා ඇති ජවිපෙ/ජාජබ [ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලය] ආන්ඩුවට විවෘතව ම සහාය දක්වනවා.”

නේවාසිකාගාර ගැටලු, කථිකාචාර්යවරුන් සහ දේශන ශාලා නොමැතිකම සහ අධ්‍යාපනය සඳහා අයවැයෙන් සොච්චම් මුදලක් වෙන් කිරීම ඇතුලු සිසුන් මුහුන දෙන දැවෙන ගැටලු පිලිබඳව, අගමැතිනිය ද වන හරිනි අමරසූරිය සමඟ ශිෂ්‍ය සංගම් පැවැත්වූ නිෂ්ඵල සාකච්ඡා ගැන ඔහු සඳහන් කලේය. දනිඳු පැවසුවේ, එම ගැටලු සම්බන්ධයෙන් කිසිවක් වෙනස් වී නැති බවත් තත්වය තවත් නරක අතට හැරෙමින් පවතින බවත් ය.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පමනක් නොව, පෙර පැවති සියලුම ධනේශ්වර ආන්ඩුවල ජාමූඅ ට පක්ෂපාතී ප්‍රතිපත්ති සැලකිල්ලට ගත් විට, ජාමූඅ පිලිබඳ සසජාතශි රැස්වීමේ මාතෘකාවට බලධාරීන් විරුද්ධ වූයේ මන්දැයි තමාට තේරුම් ගත හැකි බව දනිදු පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලින් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වුවද, සිසුන්ට ද එම ප්‍රහාරවලින් ගැලවීමක් නොමැති බව ඔහු කීවේ ය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බොහෝ ගැටලු ගැන කතා කරමින් “මේ ලාභ පිපාසිත සමාජ ක්‍රමය මිනිස් ජීවිත ගැන තැකීමක් නොකරන ආකාරය දැන් මට තේරෙනවා. උදාහරනයක් ලෙස, කොවිඩ්-19 වසංගතය අතරතුර, ලොව පුරා ආන්ඩු මිලියන ගනනක් ජනතාව ඔවුන්ගේම ඉරනමට අත්හැර දැම්මා. ඖෂධ සමාගම් විශාල ලාභ උපයා ගත්තත්, කොවිඩ් තුරන් කර නැහැ; එය අඛන්ඩව මිනිස් ජීවිත බිලි ගනිමින් තිබෙනවා” වෛද්‍ය සිසුවා සඳහන් කලේ ය.

තවත් සිසුන් ගනනාවක් සසජාතශි රැස්වීම තහනම් කිරීමට විරෝධය පල කල අතර මෙම උද්ඝෝෂනයේ වැදගත්කම අවධාරනය කලහ. ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් ජාමූඅ කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත්, සසජාතශි දේශනය අවලංගු කිරීමට මැදිහත් වීමත් අතර සෘජු සම්බන්ධය සසප/සසජාතශි සාමාජිකයෝ ඔවුන්ට පැහැදිලි කලහ.

ජවිපෙ/ජාජබ ට සහ එහි නායක ජනාධිපති අනුර දිසානායකට ඡන්දය දුන් ඇතැම් කම්කරුවන්, ආන්ඩුව කෙරෙහි තම කලකිරීම ප්‍රකාශ කලේ, මාස කිහිපයකට පෙර පැවති ජනාධිපතිවරන සහ මහ මැතිවරනවලදී තමන් රැවටීමට ලක්කර බව පවසමිනි.

සසජාතශි උත්සවය තහනම් කිරීමට විරෝධය පල කල කුඩා ව්‍යාපාරිකයෙක් මෙසේ පැවසීය: “ආන්ඩුවේ ජාමූඅ ගැති ප්‍රතිපත්ති නිසා මා වැනි කුඩා ව්‍යාපාරිකයන්ගේ සහ පුලුල් ජනතාවකගේ තත්වය දැන් නරක අතට හැරෙමිනුයි තියෙන්නෙ. කෙසේ වෙතත්, මහා ව්‍යාපාර සම්බන්ධයෙන් තත්වය සම්පූර්නයෙන්ම වෙනස්; ඔවුන්ගේ කලදසාව හොඳයි. හැම ආන්ඩුවක් ම නය ලබාගෙන තියෙන්නෙ තමන්ගේ ම ප්‍රයෝජනයට; නමුත්, නය සඳහා ගෙවීමට බල කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට.”

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සසජාතශි දේශනය තහනම් කිරීමට එරෙහිව 2025 ජනවාරි 21 වන දින සසප සහ සසජාතශි සාමාජිකයින් පිකට් කරමින්

තැපැල් සේවකයෙකු වන චතුරංග මෙසේ පැවසීය: “ජාමූඅ ට විරුද්ධ රැස්වීමක් තහනම් කිරීමේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයට මම විරුද්ධ යි.” ඔහු තවදුරටත් මෙසේ ද කීවේය: “ආන්ඩුව අභ්‍යාස පොත්, පාසල් බෑග් සහ සපත්තු ඇතුලු පාසල් උපකරනවල මිල අඩු කරන බවට පොරොන්දු වුනත්, කිසිවක් කරලා නැහැ. ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකියි. ආන්ඩුව අපට ජාමූඅ නය සඳහා ගෙවීමට බල කරලා තියෙන විදිය තමය් මේ.” දරාගත නොහැකි ජීවන තත්වයන් නිසා ප්‍රමානවත් මුදලක් උපයා ගැනීමට, තමන්ට අමතර අර්ධකාලීන රැකියා කිරීමට සිදුව තිබෙන බව චතුරංග සඳහන් කලේ ය.

රාජ්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වයස අවුරුදු 30 ක රියදුරෙකු සසජාතශි උද්ඝෝෂකයින් සමඟ කතා කිරීමට නතර විය. ඔහු විවාහ වී නැත, මන්ද ඔහුට පාසල් යන තම සහෝදරයන් දෙදෙනාට මූල්‍යමය වශයෙන් උපකාර කිරීමට සිදුව ඇති බැවිනි. සසජාතශි රැස්වීම තහනම් කිරීමට විරුද්ධ වෙමින් ඔහු පැවසුවේ ජාමූඅ කප්පාදු පියවර කම්කරුවන්ට පමනක් නොව සිසුන්ට සහ ජනගහනයේ අනෙකුත් පීඩිත කොටස්වලට ද බලපාන බවයි.

මෙම උද්ඝෝෂනය නිමා කෙරුනේ, සසප මධ්‍යම කාරක සභිකයෙකු සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෙකු වන දේහින් වසන්තගේ කතාවකිනි. වසන්ත, සසජාතශි රැස්වීම තහනම් කිරීමෙන් පසු සිදු වූ සංසිද්ධීන් ගෙනහැර දැක්වමින්, එහි පුලුල් ඇඟවුම් පැහැදිලි කලේය. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරය ගැන හිතාමතාම නිහඬව සිටින සහ බලධාරීන්ට සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තලා දැමීමට ඉඩ දී සිටින, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන ජවිපෙ ගැති පේශිසං සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් ඉටු කරන ලද ද්‍රෝහී භූමිකාව ඔහු විසින් අවධාරනය කෙරුනි.

'සමාජයේ විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය බවත්, සිසුන් එම පන්තිය දෙසට හැරිය යුතු බවත්, සසප/සසජාතශි අපි අවධාරනය කරනවා. මෙම සමාජවාදී ඉදිරිදර්ශනයට මෙම ශිෂ්‍ය සංගම් සම්පූර්නයෙන්ම සතුරුයි... කම්කරු පන්තිය තුල මෙම උද්ඝෝෂනය අපි ශක්තිමත් කල යුතුයි.'

සෑම විශ්ව විද්‍යාලයකම සසජාතශි ශාඛා ගොඩනඟන ලෙස ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. 'කම්කරුවන්, තරුනයින්, සිසුන්, බුද්ධිමතුන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වන සියලු දෙනා, අපගේ රැස්වීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස උපකුලපතිවරයාගෙන් ඉල්ලා සිටින ප්‍රකාශ නිකුත් කල යුතුයි. මෙම අරගලයේ හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්න; එය ඔබේ මිතුරන්ට හඳුන්වා දෙන්න.'

පේරාදෙනිය විශ්ව විද්‍යාල බලධාරීන් විසින් සසජාතශි දේශනය තහනම් කිරීම හෙලා දකින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. විරෝධතා ලිපි විශ්ව විද්‍යාල බලධාරීන්ට යවන්න, පිටපත් සසජාතශි වෙත ද එවන්න.

වෙත: වැඩබලන උපකුලපති, පේරාදෙනිය විශ්වවිද්‍යාලය

ඊමේල්: vc@pdn.ac.lk

පිටපත්: IYSSE

ඊමේල්: iysseslb@gmail.com

Loading