ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සිය පලමු විදෙස් සංචාරයේ යෙදෙමින් ඉන්දියාවට පැමිනෙයි

[මෙය New Sri Lankan president visits India on his first overseas trip යන මැයෙන් 2024 දෙසැම්බර් 30 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් 21 දින තේරී පත් වූ, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විය. තම පදවිප්‍රාප්තියෙන් පසු පලමු විදෙස් සංචාරය වූ එහි දී, දිසානයක, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක සහ මුදල් සහ විදේශ කටයුතු අමාත්‍යවරුන් සමඟ ඉහල මට්ටමේ සාකච්ඡාවල යෙදී ගත්තේ ය.

2024 දෙසැම්බර් 16 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දීය ජනාධිපති මන්දිරයේ දී දිසානායක වෙනුවෙන් පැවති චාරිත්‍රානුකූල පිලිගැනීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක (වමේ), ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු (මැද), සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි [ඒපී ඡායාරූප/මනීෂ් ස්වරුප්] [AP Photo/Manish Swarup]

දිසානායක පලමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම, එක්සත් ජනපදයේ නායකත්වයෙන්, චීනයට එරෙහි යුද්ධය සඳහා සිදු කෙරෙන සූදානම් කටයුතු වලට කොලඹ පාලනය ඒකාග්‍ර කිරීමේ දී, ඔහුගේ පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහගේ විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට ඔහුගේ ආන්ඩුවේ කැපවීම සංඥා කරයි. ඉන්දියාව දකුනු ආසියාව තුල එක්සත් ජනපදයේ ප්‍රධාන උපායමාර්ගික හවුල්කරුවා වේ.

දිසානායකගේ සංචාරය සිදු වූයේ, තුන්වන ලෝක යුද්ධයක ආරම්භය සනිටුහන් කරන ගෝලීය භූ දේශපාලනික ආතතීන් සහ ගැටුම් තත්වයන් යටතේ ය. එක්සත් ජනපදය සහ එහි නැටෝ සහචරයෝ දැනටමත් යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව වේගයෙන් උත්සන්න වන යුද්ධයක නිරතව සිටිති. ඒ අතරම, වොෂින්ටනය, මූලික වශයෙන් ඉරානයට එරෙහිව යොමුකරමින්, දැනටමත් ලෙබනනය සහ සිරියාව දක්වා ව්‍යාප්ත කරමින් පවතින ගාසා තීරයේ එහි ජන සංහාරක යුද්ධයේදී, ඊශ්‍රායලයට පිටුබලය දෙමින්, චීනයට එරෙහිව ඉන්දු-පැසිෆික් කලාපය පුරා එහි ප්‍රකෝප කිරීම්, ආර්ථික යුද්ධය සහ මිලිටරි ගොඩ නැගීම වේගවත් කරමින් සිටී.

1960 ගනන් අග භාගයේ ආරම්භයේ සිට ජවිපෙ දශක ගනනාවක් පුරා පැවති දරුනු ඉන්දියානු විරෝධී ස්වෝත්තමවාදී වාර්තාව සැලකිල්ලට ගත් කල, නව දිල්ලිය සමඟ සමීප සබඳතා සඳහා දිසානායකගේ පියවර සැලකිය යුතු වෙනසක් අවධාරනය කරයි.

මාඕවාදී සහ කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලාවාදයේ සහ සිංහල ජනතාවාදයේ විෂකුරු මිශ්‍රනයක් වන දේශපාලන මතවාදයක් සහිත, සිංහල ග්‍රාමීය තරුනයින් මත පදනම් වූ සුලු ධනේශ්වර රැඩිකල් ජාතිකවාදී ව්‍යාපාරයක් ලෙස ජවිපෙ මතු විය. එය, දෙමල කතා කරන ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන් “ඉන්දියානු ව්‍යාප්තවාදයේ පස්වන කොලමක්” ලෙස හෙලා දුටුවේය.

1980 ගනන්වල එහි දක්ෂිනාංශික පරිහානිය අතරතුර, ස්වෝත්තමවාදී පදනමක් මත බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය නිරායුධ කිරීම සඳහා දිවයිනේ උතුරට හා නැගෙනහිරට ඊනියා ඉන්දීය සාම සාධක හමුදා ගෙන ආ 1987 ඉන්දු-ලංකා ගිවිසුම ජාතිය දෙකඩ කරනු ඇති බව පවසමින්, ජවිපෙ එය හෙලා දුටුවේය. එය ගිවිසුමට එරෙහිව මිනීමරු, ෆැසිස්ට්වාදී උද්ඝෝෂනයක් දියත් කලේය.

ජාත්‍යන්තරව ඒ හා සමාන සංවිධාන මෙන්, ජවිපෙ ද සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව වෙනස් වෙමින්, “සන්නද්ධ අරගලය” අත්හැර 1990 ගනන්වල දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර විය. එය එල්ටීටීඊයට එරෙහි කොලඹ දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයේ ආක්‍රමනශීලී ආධාරකරුවෙකු වූ අතර, “ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා ඉන්දියාවට යටත් කිරීමක්” ලෙස හඳුන්වමින්, නව දිල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වීම ගැන ආන්ඩුව විවේචනය කලේය.

කෙසේ වෙතත්, පසුගිය දශකය තුල, ජවිපෙ, ජාජබ පිහිටුවීම හරහා ව්‍යාපාරික හා මිලිටරිය ඇතුලු පාලක ප්‍රභූව සමග වඩාත් සමීප සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර ඒ අනුව සිය විදේශ ප්‍රතිපත්තිය සකස් කරගෙන ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට බල කල 2022 මහජන නැගිටීම මධ්‍යයේ, කොලඹ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් හමු විය; ඇය, ජනතා විමුක්ති පෙරමුන මහජනතාව අතර අනුනාද වන “සැලකිය යුතු පක්ෂයක්” බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලාය.

පෙබරවාරි මස මුලදී, දිසානායක මෝදි ආන්ඩුවේ නිල-අමුත්තෙකු ලෙස ඉන්දියාවට දින පහක සංචාරයක් සිදුකරමින්, ඔහු බලයට තේරී පත් වුවහොත්, ඉන්දියාවේ ජාතික අවශ්‍යතා වලට වල කැපීමට කිසිවක් නොකරන බවට නව දිල්ලියට සහතික විය. දැන් ධුරයේ සිටින ඔහුගේ මේ මාසයේ සංචාරයේ අරමුන වූයේ, චීනයට එරෙහිව ඉන්දියාව සහ ඒ අනුව එක්සත් ජනපදය සමග පෙලගැස්ම වෙනුවෙන් ඔහුගේ කැපවීම යලි තහවුරු කිරීමයි.

2022 දී විදේශ නය පැහැර හැරීමට බල කල සහ දිග්ගැස්සුනු මහජන විරෝධතාවලට තුඩු දුන් සහ ඉදිරියට ඇදෙමින් පවත්නා දිවයිනේ ආර්ථික අර්බුදය මධ්‍යයේ දිසානායක ආර්ථික ආධාර සඳහා මංමුලා සහගත ය. පසුගිය ආන්ඩුව විසින් සාකච්ඡා කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඩොලර් බිලියන 3 ක නය මත දැඩි ලෙස රඳා පවතින ඔහු, එහි කොන්දේසි සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී.

නව දිල්ලියේ දී දිසානායක මෝදි සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රධාන අංගයක් වූයේ බලශක්ති සහයෝගීතාවය යි; එය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සහාය වන අතරම, දිවයින ඉන්දියාව මත බෙහෙවින් රඳා පවත්වනු ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවේ බලාගාරවලට ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG-Liquefied Natural Gas) සැපයීමට සහ රටවල්වල විදුලිබල ජාල සම්බන්ධ කිරීමට සැලසුම් කරයි. ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් තවදුරටත් ඒකාබද්ධ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහභාගීත්වයෙන් ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට ද නායකයින් දෙදෙනා එකඟ වූහ.

ජාමූඅ ප්‍රමුඛ ස්ථානයක් දරන ඉන්දියාව සහ එක්සත් ජනපදය මත ශ්‍රී ලංකාවේ වැඩෙන ආර්ථික යැපීම ද, එම බලවතුන් සමඟ එහි මූලෝපායික පෙලගැස්ම කෙරෙහි දැඩි ලෙස බලපායි.

ඔහුගේ නව දිල්ලි සංචාරය අතරතුර, ශ්‍රී ලංකාව “නිදහස් සහ ආරක්‍ෂිත ඉන්දියන් සාගරයක් සඳහා කැපවෙමින් ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපීය ස්ථාවරත්වයට හානිකර ලෙස” තම භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවට දිසානායක මෝදි ආන්ඩුවට සහතික විය. ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු මංතීරු හරහා උපාය මාර්ගිකව පිහිටා ඇති ශ්‍රී ලංකාව, තීව්‍ර වන භූ දේශපාලන එදිරිවාදිකම්වල කේන්ද්‍රස්ථානයකි.

2017 වසරේ හම්බන්තොට වරාය චීනයට බදු දීම සහ චීන පර්යේෂන යාත්‍රා පැමිනීම හේතුවෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල චීන බලපෑම වර්ධනය වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ආරක්‍ෂක උත්සුකයන් ඉහල නැගුනි. දිසානායකගේ සංචාරයේදී, ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි , දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිත, චීන පර්යේෂන යාත්‍රා සිය වරායවල නැව්ගත කිරීමේ තහනම කෙරෙහි ශ්‍රී ලංකාවේ කැපවීම පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරනය කලේය.

දෙසැම්බර් 20 දා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය හේරත් පැවසුවේ, විදේශ පර්යේෂන නැව් සංචාර පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට කොලඹ කටයුතු කරමින් සිටින බවයි. දිසානායක ප්‍රතිරාවය කරමින්, ශ්‍රී ලංකාව සිය ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොදෙන බව ඔහු ඉන්දියාවට සහතික විය.

දිසානායකගේ ඉන්දීය සංචාරයේදී, ඒකාබද්ධ හමුදා අභ්‍යාස, සමුද්‍ර නිරීක්ෂන, ආරක්ෂක සංවාද සහ හුවමාරු ඇතුලත් ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් කඩිනම් කිරීමට දෙරට එකඟ විය. මෙය ප්‍රධාන වශයෙන් චීනය ඉලක්ක කර ගනිමින්, ඉන්දියාවේ මූලෝපායික න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව සමීපව ඒකාබද්ධ කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.

2023 ජූලි මාසයේදී ඉන්දියාව සමඟ “ඒකාබද්ධ දැක්ම” නම් වූ ගිවිසුමකට අත්සන් තැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගත් ගමන් මග දිගටම ගන්නා බවට දිසානායක ඉන්දියාවට කරන සහතික කිරීම, ඔවුන්ගේ ආර්ථික හා මූලෝපායික බැඳීම් ගැඹුරු කරයි. වික්‍රමසිංහ මේ මාසයේ දිසානායක-මෝදි සාකච්ඡා අගය කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඉන්දියාව සහ එක්සත් ජනපදය දෙසට ශ්‍රී ලංකාව මාරුවීම වැලැක්වීමට චීනය උත්සාහ කරයි. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ක්විං බෝයොං ගේ නායකත්වයෙන් යුත් චීන නියෝජිත පිරිසක් දෙසැම්බර් 16-19 දක්වා කොලඹට පැමිනියහ. දෙසැම්බර් 18 වන දින චීන නිලධාරීන්, චීන පර්යේෂන නැව් සඳහා වූ තහනම අවසන් වූ පසු ඉන්දියානු සාගරයේ සමුද්‍ර පර්යේෂන නැවත ආරම්භ කිරීමට අදහස් කරන ලදී. කෙසේ වෙතත්, එහි සැලකිය යුතු ආර්ථික බලයක් තිබියදීත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි හවුල්කරුවන්ගේ, විශේෂයෙන්ම ඉන්දියාවේ පීඩනය යටතේ කොලඹ කෙරෙහි චීනයේ බලපෑම හීන වෙමින් පවතී.

එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන් වන රුසියාව, චීනය සහ තම අවශ්‍යතාවලට තර්ජනයක් වන වෙනත් ඕනෑම ප්‍රධාන බලවතෙකුට එරෙහිව ආක්‍රමනකාරී ලෙස තම ආධිපත්‍යය පවත්වා ගැනීමට උත්සාහ කරන තතු තුල, ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරු පන්තියට ව්‍යසනකාරී ගෝලීය ගැටුමකට ඇදී යාමට උවමනාවක් නැත. අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලාශ්‍රය වන ධනේශ්වර ලාභ පද්ධතියට තිත තැබීමේ විප්ලවවාදී සමාජවාදී හා යුද විරෝධී වැඩපිලිවෙලකට, ශ්‍රී ලාංකික කම්කරුවන්, ඉන්දියාවේ සහ ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් සමග එක්විය යුතුය.

Loading