ව්‍යාජ වාම පෙසප, නව ශ්‍රී ලංකා ජනාධිපති තේරී පත්වීම "ජනතා අපේක්ෂාවන්" ප්‍රකාශයට පත්වීමක් ලෙස හුවා දක්වයි

[මෙය Fake-left FSP hails election of new Sri Lankan president as an expression of “people’s expectations” යන මැයෙන් 2024 ඔක්තෝබර් 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකාවේ නව දක්ෂිනාංශික, අධිරාජ්‍ය ගැති ආන්ඩුව ගැන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මිත්‍යාවන් වපුරමින් සිටී.

සැප්තැම්බර් 24 දා කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්, ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස තේරී පත්වීම උද්යෝගයෙන් පිලි ගත්තේය.. ඔහු එය 'ජනතා අපේක්ෂාවන්' ප්‍රකාශයට පත්වීමක් ලෙස හැඳින්වූ අතර—ජාමූඅ රුදුරු කප්පාදු පියවර පැනවීමට කැපවී සිටින—ඊලඟට එන ආන්ඩුව වමට හැරවීමට බලපෑම් කල හැකිය යන බොරුව ප්‍රවර්ධනය කලේය.

පෙසප ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්

යම් කොන්දේසි යටතේ ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග වැඩ කිරීමට පෙසප කැමැත්තෙන් සිටින බව ගුනරත්නම් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා වොෂින්ටනයේ ප්‍රධාන කලාපීය සහකරු වන ඉන්දියාව සමග ජවිපෙ ගොඩනගා ගෙන ඇති සමීප සබඳතා සහ චීනයට එරෙහි ඔවුන්ගේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ශ්‍රී ලංකාව වඩාත් පූර්න ලෙස ඒකාග්‍ර කිරීමේ ඔවුන්ගේ සැලසුම් ගැන පෙසප නායකයා එක වචනයක් හෝ පැවසුවේ නැත.

ජවිපෙ දෙමල විරෝධී සිංහල ස්වෝත්තමවාදයේ ගිලී ගිය පක්ෂයක් වුවද, ගුනරත්නම්, එය “අනාගමිකත්වයේ” පවුරක් ලෙස ප්‍රවර්ධනය කිරීම දක්වාම ඉදිරියට ගියේය.

දිසානායක බලයට ඔසවා තැබුනේ—2019 පැවති ජනාධිපතිවරනයේදී ඔහු ලබා ගත්තේ සියයට 4 කටත් අඩු ඡන්ද ප්‍රතිශතයකි—සම්ප්‍රදායික පාලක පක්ෂ සහ ඒවියේ ආධිපත්‍යය දැරූ දූෂිත පවුල් අතලොස්සක් සම්බන්ධයෙන් පවතින මහජන කෝපය ගසාකෑමෙනි.

ඔහුගේ ජයග්‍රහනයේ දෙවන ප්‍රධාන අංගය වූයේ, ජවිපෙ ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්, මිලිටරි ආරක්ෂක සංස්ථාපිතය සහ වොෂින්ටනය හා නවදිල්ලිය සමඟ දැඩි ලෙස වෙලී පැවතීම යි.

ජනතා විරෝධය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු පැනවීමේ තම වාර්තාව සහ ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුවක් යටතේ ආර්ථිකය කඩා වැටෙනු ඇති බවට කරන ලද උග්‍ර අනතුරු ඇඟවීම් මත පාදක වෙමින් ජනාධිපති ධුරය රඳවා ගැනීමේ අසාර්ථක උද්ඝෝෂනයක නිරත වූ රනිල් වික්‍රමසිංහ, ඡන්දය අවසන් වී යන්තම් පැය කිහිපයකට පසුව අංශක 180 ක කරනමක් ගැසීය. ජවිපෙ “අඛන්ඩ වර්ධනයේ සහ ස්ථාවරත්වයේ මාවතකට ශ්‍රී ලංකාව ගෙන යනු ඇතැයි” තම විශ්වාසය ප්‍රකාශ කල ඔහු, දිසානායකට “මගේ ජනාධිපති” යයි ආමන්ත්‍රනය කරමින් ප්‍රදර්ශනාත්මකව වැලඳ ගත්තේය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, දිසානායකට සුබපැතුම් පනිවිඩයක් එවමින්, 'ඉන්දු-පැසිෆික් කලාපය තුල සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමේදී' එකට වැඩ කිරීමට හැකි වීම ගැන සතුට පල කලේය.

මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතාවාදය මිශ්‍රිත සුලු ධනේශ්වර ව්‍යාපාරයක් ලෙස 1960 ගනන්වල සිදු වූ ජවිපෙ හි මූලාරම්භය මත පාදක වෙමින්, දිසානායක 'වාමාංශිකයෙකු,' 'සමාජවාදියෙකු' ලෙස පමනක් නොව, 'මාක්ස්වාදී' ජනාධිපතිවරයෙකු ලෙස පවා හඳුන්වමින්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මාධ්‍ය, සැප්තැම්බර් 21 ශ්‍රී ලංකාවේ මැතිවරනයේ ප්‍රතිඵලය ඉතසිතින් පිලිගෙන ඇත.

එවන් කොන්දේසි යටතේ, ඕනෑම අව්‍යාජ සමාජවාදී පක්ෂයක පලමු කර්තව්‍යය වනුයේ, මීලඟට එන ආන්ඩුවේ දක්ෂිනාංශික, අධිරාජ්‍ය ගැති ස්වභාවය ගැනත්, ඊට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව සූදානම් වීමේ අවශ්‍යතාවය පිලිබඳවත් කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට තියුනු ලෙස අනතුරු ඇඟවීමයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරමින් සිටින්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයකි. එය, ජවිපෙ/ජාජබ පිලිබඳ මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරමින්, ශ්‍රී ලංකාවේ ධනවාදය ගොඩනැගීම සඳහා වූ එහි දක්ෂිනාංශික වැඩපිලිවෙල, ජාමූඅ ට සහ වොෂින්ටනයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීම, දෙමල විරෝධී ස්වෝත්තමවාදය ප්‍රවර්ධනය කිරීමේ නීච වාර්තාව සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය තුලට ඒකාග්‍ර වීමට දශක ගනනාවක් තිස්සේ දරන උත්සාහයන් වසන් කරයි.

2012 දී පෙසප මතුවූයේ, දක්ෂිනාංශික ආන්ඩු මාලාවකට සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කොලඹ වාර්ගික යුද්ධයට ජවිපෙ හි උද්‍යෝගිමත් සහයෝගය සහ සහභාගීත්වය හේතුවෙන් ජවිපෙ වඩ වඩාත් අපකීර්තියට පත්වේ යැයි එහි නායකත්වයේ කොටසක් තුල, විශේෂයෙන්ම එහි තරුන ව්‍යාපාරයේ නායකත්වය තුල ඇති වූ භීතිය හේතුකොටගෙන, ජවිපෙ සමග භේදයකිනි.

කෙසේ වෙතත්, මධ්‍යම පන්තික ජාතිකවාදී සංවිධානයක් ලෙස ජවිපෙ මූලාරම්භය සනාත කරමින්, පෙසප, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීමකට දැඩි ලෙස සතුරු ය. වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි පාලක පන්තියේ ප්‍රහාරයට, ජාතික හා ධනේශ්වර පදනමක් මත සහ මැතිවරන දේශපාලනයේ රාමුව තුල පිලිතුරු දිය හැකි බව පවසමින්, එය ධනේශ්වර ගැති වැඩපිලිවෙලක් මත මහජන අරගල සන්ධානය (මඅස) නම් සන්ධානයක් හරහා ජනාධිපතිවරනයට ඉදිරිපත් විය.

ජවිපෙ, පෙසප සහ 2022 මහජන නැගිටීම

පෙසප මාධ්‍ය හමුවේදී ගුනරත්නම් කියා සිටියේ, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හරින ලද, මාස ගනනාවක් ඇදී ගිය 2022 මහජන නැගිටීම “යම් ප්‍රමානයක අපේක්ෂාවන් සමග” අවසන් වූ බවත්, “එම අපේක්ෂාවන්, මෙම මැතිවරනයේ ප්‍රතිඵල හරහා'—එනම් දිසානායක සහ ඔහුගේ ජවිපෙ බලයට පැමිනීම හරහා—'ප්‍රකාශයට පත්ව ඇති' බවත් ය.

මෙය දැවැන්ත විකෘතියකි. නව ආන්ඩුව, ජනතා 'අපේක්ෂාවල' ප්‍රතිමූර්තියක් නොවේ. ඒ වෙනුවට එය, ශ්‍රී ලංකාවේ සහ ගෝලීය ප්‍රාග්ධනයේ පිටුබලය ඇතිව, එම අපේක්ෂාවන් ව්‍යර්ථ කිරීමට සහ තලා දැමීමට බලයට ගෙන ආ දක්ෂිනාංශික ධනේශ්වර ආන්ඩුවකි.

දේශපාලන සංස්ථාපිතයේ අනෙකුන් මෙන් ම ජවිපෙ ද ප්‍රකාශ කලේ, වැඩකරන ජනතාව මත දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමේ කොන්දේසි සහිත ජාමූඅ ඇප නයක් ලබා ගැනීම වෙනුවට විකල්පයක් නොමැති බවයි. සිය ගනනක් රාජ්‍ය ව්‍යවසායන් විකුනා දැමීම, ලක්ෂ සංඛ්‍යාත රජයේ රැකියා අතුගා දැමීම, මහජනතාවට දන්ඩනීය වූ ප්‍රතිගාමී තීරුබදු සහ බදු ඉහල දැමීම් ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල බලාත්මක කිරීමට එය ප්‍රතිඥා දී ඇත.

ඉහල යන මිල ගනන්, අත්‍යාවශ්‍ය භාන්ඩවල උග්‍ර හිඟය සහ දශක ගනනාවක කප්පාදුවලට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් වැඩ වර්ජන හා විරෝධතාවලට සම්බන්ධ වූ 2022 මහජන නැගිටීමට ජවිපෙ සතුරු විය. එය, මහජනතාවගේ “අපේක්ෂාවන්” බිඳ දැමීමට, ධනේශ්වර පාලනය යලි තහවුරු කිරීමට සහ කුරිරු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලක් ආරම්භ කිරීම සහතික කිරීමෙහිලා ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය.

ආරම්භයේ සිටම, ජවිපෙ හි ප්‍රධාන උත්සුකය වූයේ ධනේශ්වර පාලනය රැක ගන්නේ කෙසේද යන්නයි. 2022 අප්‍රේල් 7 වැනි දින පාර්ලිමේන්තුවේදී කතා කරමින්, මහජන නැගිටීම දිවයින පුරා වේගයෙන් වර්ධනය වෙමින් තිබියදී, 'රට තුල මතුව ඇති මහා අරාජිකත්වය' ගැන දිසානායක කනස්සල්ල පල කලේය. “මේ රටේ තත්වය පාලනය කිරීමට, එය යම් සාමකාමී තත්ත්වයකට ගෙන ඒමට, රටේ ස්ථාවරත්වය ඇති කිරීමට සහ ආර්ථිකයේ අර්බුදය විසඳීමට මගක් සෙවීමට ජවිපෙ සමඟ එක්ව වැඩ කරන” ලෙසට, ඔහු තම සහෝදර දක්ෂිනාංශික ධනේශ්වර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආයාචනා කලේය.

අවසානයේදී, සීමිත වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට තම සාමාජිකත්වය කැඳවීමට ජවිපෙ ප්‍රමුඛ වෘත්තීය සමිතිවලට බල කෙරුනි. එහෙත් ඔවුන් එසේ කලේ, එහි පාර්ලිමේන්තුව සහ අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය ඇතුලු ධනේශ්වර දේශපාලනයේ සමස්ත රාමුවට සහ ධනේශ්වර පාලනයට මහජන ව්‍යාපාරය අභියෝගයක් බවට පත් නොවීම සහතික කර ගැනීමත්, සාමාන්‍ය සාමාජිකත්වයේ පාලනය තමා අතේ තබා ගැනීමත්, අරමුනු කරගෙන ය.

වෛෂයිකව, සමස්ත ධනේශ්වර පර්යායම ප්‍රශ්නයට ලක්කල, '225ම එපා' (සියලු මන්ත්‍රීවරුන් ගැන සඳහනකි) වැනි සටන් පාඨ ජනතාව විසින් හඬ ගැගූ 2022 නැගිටීමට දැවැන්ත විප්ලවවාදී විභවයක් තිබුනි.

එහෙත් එයට සමාජවාදී-ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් නොතිබූ අතර අවසානයේ, විරුද්ධ පක්ෂ සමහරක් හෝ සියල්ලම ඇතුලත් වනු ඇති, 'අන්තර්කාලීන' ධනේශ්වර ආන්ඩුවක් සඳහා වන කැඳවීම ප්‍රවර්ධනය කල වෘත්තීය සමිතිවල සහ ජවිපෙ/ජාජබ සහ පෙසප ඇතුලු සියලු බලවේගවල ඒකාබද්ධ ප්‍රයත්නයන් තුලින් එය පාලනයට ගෙන, නිෂ්ක්‍රීය කර දමන ලදී.

විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන ගියේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. එය ශ්‍රී ලංකාවේ ධනේශ්වරය සහ එහි රාජ්‍යය විසින් ගන්නා ලද නය ප්‍රතික්ෂේප කිරීමට, පාලක පන්තියත අයථා ලෙස උපයාගත් ධනය අත්පත්කර ගැනීමට සහ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමටත්, ජනතාවගේ මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීමට සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට කඩිනමින් පියවර ගැනීම සඳහා කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමටත් කැඳවුම් කලේය.

රාජපක්ෂ ඉවත් කර දැමූ මහජන නැගිටීම වර්ධනය වන විට, දිසානායක පොරොන්දු වූයේ, “එය සභාගයක් වුවත්, අන්තර්වාර පාලනයක් වුවත්, ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය හෝ අප [ජාජබ] නිරීක්ෂකයින් ලෙස පිටත සිටිනු ඇති පාලනයක් වුවත්...” එහි පාලනය ස්ථාවර කිරීමට පාලක පන්තිය සැලසුම් කරන කුමන හෝ “යාන්ත්‍රනයකට” සහාය දෙන බවයි. ඔහුගේ වචනයට අනුව, ජවිපෙ, රාජපක්ෂ විසින් එක්සත් ජනපද-ගැති ආවතේවකාර වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීම සහ ඔහුගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන පැනවීම සඳහා එකඟ වෙමින්, පාර්ලිමේන්තුවේ ප්‍රධාන ධනේශ්වර විරුද්ධ පක්ෂය වන සජබ (සමගි ජන බලවේගය) සමග එක් විය.

ජාමූඅ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරු පන්තිය තුල මහජන විරෝධයක් පැන නැගුනු විට, ජවිපෙ එය යටපත් කිරීමට කටයුතු කලේය. වැඩ වර්ජන කිරීමට බලකෙරුනු විට, ඒවා සීමා කිරීමට සහ හුදකලා කිරීමට එය ක්‍රියා කලේය. 2024 දී, මැතිවරනය ආසන්න වීමත් සමග, ජවිපෙ ආන්ඩුවක් පත්වන තෙක් කම්කරුවන් බලා සිටිය යුතු බව අවධාරනය කරමින්, කම්කරුවන්ගේ කාර්මික ක්‍රියාවන්ට ජවිපෙ වෘත්තීය සමිති වඩාත් පැහැදිලිවම සතුරු විය. මේ සියල්ලේ දී, පෙසප, කම්කරු කාර්මික ක්‍රියාමාර්ග හුදකලා සාමූහික කේවල් කිරීමේ අරගලවලට සීමා කිරීමට ක්‍රියා කරමින් සහ විවිධ කම්කරු අරගල ඒකාබද්ධ කිරීමේ සටනට දැඩි ලෙස විරුද්ධ වෙමින්, ජාමූඅ “ප්‍රතිව්‍යුහගතකරනයෙන්” සෘජුවම පැනනගින කම්කරු පන්තියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයන්ට එරෙහිව, නින්දිත, සහායක භූමිකාවක් ඉටු කලේය.

2023 ඔක්තෝබර් 19 වන දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමක දී, වමේ සිට, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන්, තානාපති ජුලී චංග්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. [ඡායාරූප: X/Twitter @anuradisanayake] [Photo: X/Twitter @anuradisanayake]

ගෝලීය ධනේශ්වර බිඳවැටීමක් තුල මුල් බැසගත් විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ, ධනේශ්වර රාජ්‍යය පරිපාලනය කිරීමේ සෘජු වගකීම ජවිපෙ දැන් භාර ගැනීමත් සමග, සමාජ වියදම් ඉහල දැමීම සහ කොලඹ ජාමූඅ ගිවිසුම සමග 'යලි සාකච්ඡා කිරීම' පිලිබඳව මැතිවරන ව්‍යාපාරය තුල දිසානායක විසින් පතුරුවා හරින ලද බොරු පිලිබඳ මිත්‍යාවන් ශක්තිමත් කිරීමට දැන් පෙසප කටයුතු කරමින් සිටී.

දිසානායකගේ සහ ජවිපෙ/ජාජබ යේ ජයග්‍රහනය 2022 නැගිටීමේ “අපේක්ෂා” ප්‍රකාශ කරන බවට වන ප්‍රකාශයන් සමඟ ඔවුන්ට “ප්‍රගතිශීලී වර්න ගැන්වීමක්” ලබා දීමට උත්සාහ කල පෙසප ප්‍රධාන ලේකම් ගුනරත්නම්, “ජනතා අපේක්ෂාවන්”, ජාජබ විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන හා ආර්ථික වැඩපිලිවෙල ඉක්මවා යන බවත්... “ඒ නිසා, ජනතාවගේ එම අපේක්ෂාවන් ඉටු කිරීමට මේ රජයට විශාල වගකීමක් ඇතැයි අපි සිතන” බවත් කියා සිටියේය.

මේ සියල්ල අරමුනු කර ඇත්තේ, කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමටත්, 'ජනතා අපේක්ෂාවන්' ඉටුකර ගැනීමට ජවිපෙ/ජාජබ ට පීඩනය යෙදිය හැකිය යන මාරාන්තික මිත්‍යාව පතුරුවා හැරීමටත් ය.

සත්‍යය නම්, කම්කරු පන්තිය, ජවිපෙ/ජාජබ ආන්ඩුව හා එහි ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය සමග උග්‍ර ගැටුමකට තල්ලු කරනු ඇති බවයි. එපමනක් නොව, දිසානායක සහ ජවිපෙ/ජාජබ, 'නීතිය හා සාමය' රැකගැනීමේ අවශ්‍යතාවය පිලිබඳ පුන පුනා ප්‍රකාශ කරමින්, වික්‍රමසිංහ සහ ඔහුගේ පූර්වගාමීන් යටතේ සම්මත කරන ලද ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති මහජන විරෝධය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමට යොදා ගැනීමට සූදානම් වෙති.

ජවිපෙ මැතිවරන ජයග්‍රහනයට ගුනරත්නම්ගේ හිතකර ප්‍රතිචාරය සැලකිල්ලට ගෙන, බලයට පැමිනෙන ජවිපෙ/ජාජබ ආන්ඩුව සමඟ වැඩ කිරීමට ඔවුන්ට ආරාධනා කලහොත් පෙසපයේ ප්‍රතිචාරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසීම පුදුමයක් නොවේ. මෙයට ගුනරත්නම් පැවසුවේ, “ජාමූඅ ප්‍රතික්ෂේප කිරීමේ ගමනක්” සඳහා පෙසප සමග එක්වන්නේ නම් ආන්ඩුව සමග වැඩ කිරීමට සූදානම් බවයි. මෙය, ශ්‍රී ලංකාවේ නය ආපසු ගෙවීමට, කොලඹට, ජාමූඅ සමග වඩා සැහැල්ලු කොන්දේසි සඳහා ජාත්‍යන්තර නය දෙන රටවල් සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කල හැකි බවට වන මිත්‍යා ප්‍රවාදය මත පදනම් වූ පෙසප හි ව්‍යාජ “ජාමූඅ න් ඉවත්වනු” ප්‍රතිපත්තිය ගැන සඳහනකි.

පෙසප 'ජාමූඅ න් ඉවත්වීමේ' සැලැස්ම ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සහ එහි පූර්වගාමියා වූ වික්‍රමසිංහ ආන්ඩුවේ—කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව ලවා, අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු විසින් ගන්නා ලද දැවැන්ත නය කන්දරාව ගෙවීමට සැලැස්වීමමේ—වැඩපිලිවෙලට සමාන ප්‍රතිඵලයකට තුඩු දෙනු ඇත.

පෙසප, ජවිපෙ/ජාජබ හි දෙමල විරෝධී වර්ගවාදය වසන් කරයි

පෙසප මාධ්‍ය සාකච්ඡාවේ තවත් එක් අංගයක් පිලිබඳ අදහස් දැක්වීම උචිත ය.

වර්ගවාදී උසිගැන්වීම් පිලිබඳ දීර්ඝ හා ලේ වැකි වාර්තාවක් ජවිපෙ සතු වේ. කම්කරු පන්තියේ විරුද්ධත්වය නැගී එන විට, එය කම්කරු පන්තිය බෙදීමේ අරමුන ඇතිව දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීමට උත්සාහ කරනු ඇති බවට විවාදයක් තිබිය නොහැක. පසුගිය මස මුල, දෙමල බහුතරයක් වෙසෙන උතුරේ විශාලතම නගරය වන යාපනයේ මැතිවරන රැස්වීමක් ඇමතූ දිසානායක, 'දකුනේ ජනතාව වෙනසක් සඳහා පෙල ගැසී සිටින විට ඔබ වෙනසේ විරුද්ධවාදීන් බවට පත් වුවහොත් දකුනේ මිනිසුන් අතර කුමන ආකාරයේ මානසිකත්වයක් වර්ධනය විය හැකිද' යනුවෙන් ප්‍රකාශ කරමින්, ජාජබ ආන්ඩුවක් සඳහා සිංහල බහුතරයක් සිටින දකුනේ කැමැත්තට බාධා නොකරන ලෙස දෙමල ජනයාට අනතුරු ඇඟවීය.

ජවිපෙ සිංහල වර්ගවාදය නියෝජනය කරන තර්ජනය පිලිබඳව කම්කරු පන්තියට සහ ගම්බද දුගීන්ට අනතුරු අඟවනවා වෙනුවට, ගුනරත්නම්, ජවිපෙ/ජාජබ දිදුලන වර්නවලින් සරසමින් සහ අනාගමිකවාදයේ අනුගාමිකයින් ලෙස නිරූපනය කිරීමට සජබ සමග පෙලගැසී සිටි බලවේගවල දක්ෂිනාංශික අදහස් ඩැහැගත්තේය.

සිංහල-බෞද්ධ වර්ගවාදී දක්ෂිනාංශයට ආයාචනා කරමින්, සජබ සමග පෙලගැසී සිටින කන්ඩායම්, ශ්‍රී ලංකාව “අනාගමික රාජ්‍යයක්” කිරීමට ජවිපෙ/ජාජබ ට අවශ්‍ය බවට චෝදනා කර ඇත. ගුනරත්නම් මෙම “මඩ ගැසීම” හෙලා දකිමින්, අනාගමික රාජ්‍ය සංකල්පය ප්‍රශංසාවට ලක් කල අතර, එය ක්‍රියාත්මක කිරීමට ජවිපෙ/එන්පීපී කැපවී සිටින බව ඇඟවීය. මේ සියල්ලෙන්, සජබ ප්‍රහාරවලට ජවිපෙ ප්‍රතිචාර දක්වා ඇති ආකාරය සහ එහි දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ දීර්ඝ ඉතිහාසය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවකින් හිතාමතා ම වැලකුනේ ය.

පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීම තහවුරු කරනවා වෙනුවට, ජවිපෙ/ජාජබ, සජබ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වූයේ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත පර්යාය තුල බුද්ධාගමට හිමි උසස් තැනට සහ ඒකීය සිංහල ආධිපත්‍යය දරන ධනේශ්වර රාජ්‍යයට යලි යලිත් තම සහයෝගය දැක්වීමෙනි.

මැතිවරනයට පෙර, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ රැස්වීමක දී කතා කරමින් ජවිපෙ/ජාජබ ජ්‍යෙෂ්ඨ නායක සහ දැන් කැබිනට් ඇමති විජිත හේරත් ප්‍රකාශ කලේ, දිසානායක ප්‍රමුඛ ආන්ඩුවක් ශ්‍රී ලංකාවේ බුද්ධාගමේ වරප්‍රසාදිත ස්ථානය රකිනු ඇති බවයි. “අපේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය... එහි සඳහන් වන ‘ශ්‍රී ලංකා ජනරජය බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුයි,” යන්න, “කිසිදු ආකාරයකින් වෙනස් නොකරනු ඇත” යි හේරත් ප්‍රකාශ කලේ ය.

හේරත් පසුව මෙසේ ප්‍රකාශ කලේය: “දෙවැනි කාරනය: අපි, ඒකීය රාජ්‍යය, භෞමික අඛන්ඩතාව සහ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් අපමන කැපකිරීම් කල දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඊයේ, අද සහ හෙට අපේ ස්ථාවරය එලෙසම පවතිනවා. ඒකීය රාජ්‍යය සුරැකීම අපගේ පරම යුතුකමයි.”

නව ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග කම්කරු පන්තිය දැඩි ගැටුමකට පැමිනෙන විට, පෙසප, 2022 නැගිටීමේදී කලාක් මෙන් එම ද්‍රෝහී ක්‍රියාකලාපයම ඉටුකරමින්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීමට කටයුතු කරනු ඇති බවට සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු අඟවයි.

පෙසප ට සහ එය විසින් ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රවර්ධනය කිරීමට සහ ධනේශ්වර පාලනය ආරක්ෂා කිරීමට එරෙහිව, සැප්තැම්බර් 23 දා ප්‍රකාශයට පත් කරන ලද ලෝසවෙඅ ඉදිරිදර්ශන ලිපියක පැහැදිලි කල පරිදි, සසප, “ග්‍රාමීය ජනතාව සහ අනෙකුත් පීඩිතයින් ඒ පිටුපස පෙලගස්වා ගනිමින්, ස්වාධීන දේශපාලනය බලවේගයක් ලෙස කම්කරු පන්තිය එක්සත් කිරීමේ හා බලමුලු ගැන්වීමේ අරගලය වර්ධනය කරනු ඇත්තේ, බලයට පත්වන ජවිපෙ ආන්ඩුවේ ප්‍රහාර වලට මුහුන දීමට සහ යුද්ධයට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවට එරෙහිව සමාජ සමානතාවය—එනම් විප්ලවවාදී සමාජවාදය ඉදිරියට ගෙන යාම සඳහා ය.'

Loading