ඉහල වැටුප් දිනා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන මහ වැඩවර්ජනයක් සූදානම් කරමු!

වැඩි වැටුප් සහ සුරක්ෂිත සේවා කොන්දේසි දිනා ගැනීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනයටත් එරෙහිව අද සහ හෙට දින දෙකේ වර්ජනයකට එලඹෙන රාජ්‍ය අංශයේ ලක්ෂ සංඛ්‍යාත සේවකයන් සමග සමාජවාදී සමානතා පක්ෂය එකට සිටගනී. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පලාත් රාජ්‍ය අංශවල, සෞඛ්‍ය අංශයේ සහ තැපැල් සේවකයන් ද ගුරු සහ විදුහල්පතිවරුන් සහ සංවර්ධන නිලධාරින් ද අසනීප නිවාඩු දමා මෙම වර්ජනයට සහභාගිවන බව ප්‍රකාශයට පත්වී තිබේ.

පසුගිය අවුරුදු දෙකක සිට අහස උසට නැගුනු උද්ධමනය, දැවැන්ත බදුබර, විදුලිය, ජල හා ප්‍රවාහන ගාස්තු පිම්මේ ඉහල දැමීම නිසා කම්කරුවන්ගේ සෑම කොටසකමත්, නාගරික හා ගම්බද දුගීන්ගේත් ජීවන කොන්දේසි පතුලටම වැටී ඇත. රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකරනය වේගවත් කර තිබේ. සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් දරා ගත නොහැකි මට්ටමකට නැගී පවතී. මේ අරගල පැන නැගී ඇත්තේ එම ප්‍රහාර වලට එරෙහිවයි.

ඉහල වැටුපක් සඳහා යුක්ති සහගත ඉල්ලීම් ඉදිරිපත්කොට රාජ්‍ය අංශයේ සේවකයන් අරගලවලට එලඹුනත්, ජනාධිපති වික්‍රමසිංහ පුනපුනා තර්ජනය කරන්නේ, “මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට මුදල් නෑ” යනුවෙනි.

ඔහුගේ උත්සුකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියම කල මුර්ග කොන්දේසි ක්‍රියාවට දැමීමයි. එනම්, ධනපති අර්බුදයට පැලැස්තර දමාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය කතිපයාධිකාරින්ගෙන් ගත් නය කන්දරාව ආපසු ගෙවීම සඳහාත්, ධනපති මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ මඩි තර කිරීමටත් මහජනතාව මිරිකා රාජ්‍ය භාන්ඩාගාරය පුරවා ගැනීමයි.

තමන්ට යහපත් ජීවන කොන්දේසි දිනා ගැනීමට පසුගිය අවුරුද්දේ පටන් රාජ්‍ය සේවකයන් පැවැත්වූ විරෝධතා හා වර්ජන ගනන් කල නොහැකි තරම් ය. කම්කරුවන් අතර කැකෑරෙන විරුද්ධත්වය මධ්‍යයේ, වෘත්තීය සමිති මේ කාර්මික ක්‍රියා කැඳවූයේ ආන්ඩුවට බලපෑම් දමා, එහි ප්‍රතිපත්ති වෙනස් කර ඉල්ලීම් දිනාගත හැකිබව ප්‍රචාරය කරමිනි.

ප්‍රතිඵලය කුමක් ද? එම ප්‍රචාරය පුස්සක් බව එලිදරවු වීමයි. වෘත්තීය සමිති නායකයන් ආන්ඩුවට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකියයි ප්‍රචාරය කලේ එසේ කල නොහැකි බව දැන දැනමය. මේ සමිති නායකයන් බොහෝ දෙනා ජාමුඅ වැඩපිලිවෙලට එකඟ ය. බොහෝ සමිති, ජාමුඅ වැඩපිලිවෙලට කැපවී සිටින, වික්‍රමසිංහගේ යූඇන්පියට, රාජපක්ෂලාගේ පොදු පෙරමුනට, ශ්‍රීලනිපයට, සමගිජන බලවේගයට, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ඒවාය. වතුකරයේ සියලු සමිති මේ මුර්ග වැඩපිලිවෙලට කැපවී සිටිති. ඔවුන් ඒ අරගල එකිනෙකින් හුදකලාවූ, විසිරුනු සීමිත ක්‍රියා ලෙස කැඳවූයේ කම්කරුවන්ගේ කෝපය අවමංගත කොට දිය කර දැමීම සඳහා ය.

කම්කරුවන් දැන් දෙදින අරගලයට එන්නේ අව්‍යාජ උවමනාවෙනි. කම්කරුවන්ගේ විරෝධය වැඩෙන තතු යටතේ, තමන් කැඳවූ මෙම දෙදින අසනීප නිවාඩු දැමීම රාජ්‍ය අංශයේ “මහා වැඩ වර්ජනයක්” ලෙස හුවා දක්වමින්, සමිති නායකයන් වාචාල ප්‍රකාශ නිකුත් කර තිබේ. කෙසේ වුවද, කිසිදු ඒකාබද්ධ ක්‍රියාවක් සංවිධානය කිරීම හෝ පොදු ඉල්ලීම් ඉදිරිපත් කිරීම සමිති නිලධරයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන්ගේ පැත්තෙන් මෙම ක්‍රියාවන් කැඳවීම, කම්කරුවන්ගේ විරෝධය දිය කර දැමීමේ තවත් උප්පරවැට්ටියක් පමනකි.

රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන මේ සීමිත ඒකාබද්ධ වර්ජනය කැඳවා තිබේ. එම සමිති නායකයන් කියා සිටින්නේ, මේ පලල් වර්ජනයෙන් බරපතල බලපෑමක් යොදා කම්කරුවන්ගේ ඉල්ලීම් දිනාගත හැකි බවයි. මෙය තවත් මිත්‍යාවක කම්කරුවන් කොටු කිරීමකි. වික්‍රමසිංහ නැවතත් අනතුරු අඟවා ඇත්තේ ඉල්ලීම් දීමට මුදල් නැති බවයි; මැතිවරනවලින් පසුව හැකිනම් සලකා බැලිය හැකි බවයි. මෙය බොරුවකි.

සමගි ජන බලවේගය හා ජවිපෙ/ ජාතික ජන බලවේගය කියන්නේ ද මැතිවරන වලින් ඔවුන්ගේ ආන්ඩුවක් බලයට ආපසු ප්‍රශ්න විසඳා ගත හැකිබවයි. වෘත්තිය සමිති නායකයෝ තම පක්ෂවල මේ ප්‍රචාරයට කම්කරුවන් යට කිරීමට ක්‍රියාකරති.

වික්‍රමසිංහ ආන්ඩුව යටතේ දැනට ක්‍රියාවට දමා ඇත්තේ ජාමුඅ වැඩපිලිවෙලේ සුලු කොටසකි.දේපොල බදු ඇතුලු තවතවත් බදුබර පැටවීම, සියලු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකරනය, රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් කපා හැරීම, ඉතිරි කම්කරුවන් මත අධික වැඩබර පැටවීම හා නිදහස් සෞඛ්‍ය සේවයේත් අධ්‍යාපනයේත් ඉතිරිය අහෝසි කිරීම, ඉදිරියට කිරීමට ඉතිරි වී තිබෙන ජාමුඅ නියෝගයන් ය.

වික්‍රමසිංහ බලයට ආවත්, සජබ හෝ ජවිපෙ-ජාජබ බලයට ආවත් දැනටත් වඩා කුරිරු ලෙස කම්කරුවන්ගේ දුගීන්ගේ විරෝධයන් තලා දමා, ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දමන බව සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි. එසේ නොවේයැයි, කිසිදු මිත්‍යාවක් සැකයක් තබා නොගන්න!

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ට සහ දුගීන්ට එක දිගට ම අවධාරනය කලේ, ධනපති ක්‍රමය තුල හා පාර්ලිමේන්තු රාමුව තුල තමන්ගේ ජීවන හා සමාජ කොන්දේසි හා ප්‍රජාතන්තවාදී අයිතීන් රැකගත නොහැකි බවයි. මහජනයා මත පටවමින් තිබෙන්නේ පෙරනොවුවිරූ ලෙස උග්‍රවන ධනපති අර්බුදයකි. එම ආර්ථික ව්‍යසනය පුපුරා එන්නේ ලෝක පරිමානව ගැඹුරුවන අර්බුදයක කොටසක් ලෙස ය. දිග් ඇදෙන කෝවිඩ්-19 වසංගතය හා එක්සත් ජනපද-නැටෝ බලවතුන් යුක්‍රේනය හරහා රුසියාවට එරෙහිව කරන යුද්ධය නිසා මේ අර්බුදය උග්‍රවී තිබේ. එක්සත් ජනාපදය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල් ලෝකය බෙදා ගැනීමේ යුද්ධවලට සූදානම් වෙමින් අර්බුදයේ බර පැටවීමට එරෙහිව එම රටවල් ඇතුලු සෑම රටක ම වැඩකරන ජනතාවගේ අරගල ඇවිලෙමින් තිබේ.

පාලක ආන්ඩු වල උත්තරය ඒකාධිපති පාලනයන් ඇටවිමයි. වික්‍රමසිංහ අත්‍යවශ්‍ය සේවා නියෝගවලින් ගුරුවරුන් මඩින බවට තර්ජනය කරන්නේ නිකම් නොවේ. ජාත්‍යන්තරව මෙන් ම ලංකාවේ පාලකයන් ද එවැනි මර්දන පියවර ගත්තේ වරක් දෙවරක් නොවේ.

මේ අර්බුදයේ බර පැටවීමට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තියට විකල්පය ක්‍රියාමාර්ගයක් අවශ්‍ය ය. සමාජවාදී සමානතා පක්ෂය ජුනි 26 දා 'පන්ති අරගල, ඉදිරි මැතිවරනවලට යටත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දරන ප්‍රයත්නයට එරෙහිවනු! ආන්ඩුවේ කප්පාදුවට එරෙහිව මහා වැඩ වර්ජනයක් සූදානම් කරමු! සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් වදිමු!' යන මාතෘකාවෙන් පල කරන ලද ප්‍රකාශයකින් ඉල්ලීම් මාලාවක් ඉදිරි පත් කර ඇත. ඒවා නම්:

*ජාමූඅ විසින් නියම කර ඇති සියලු කප්පාදු පියවර ඉවත් කරනු!

*සියලු කම්කරුවන් සඳහා රුපියල් 100,000 න් ආරම්භවී ජීවන වියදම අනුව වැඩි වන, ජීවත්විය හැකි වැටුපක් සහතික කරනු!

* සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! නය ගෙවීම වෙනුවට වැඩකරන ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන, විදුලිය, ජලය, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල සහ රේට්ටු පහත හෙලීමට අරමුදල් යෙදවිය යුතුය.

* ඵලදායී අධ්‍යාපනයක් සහ යහපත් සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට, ගම්බද ගොවීන්ට පොහොර සම්පාදනය කිරීමට සහ ගොවීන්ගේ අස්වැන්න සඳහා ප්‍රමානවත් මිලක් සහතික කිරීමට, ප්‍රමානවත් අරමුදල් සපයනුවස් සියලු සහනාධාර නැවත ස්ථාපිත කරනු!

* රැකියා සැපයීම සහ වැඩකරන ජනතාවගේ සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා මහා ව්‍යාපාර අත්පත් කරගෙන ඒවා කම්කරුවන්ගේ පාලනය යටතට පත් කරමු!

* යහපත් සහ ආරක්ෂිත සේවා කොන්දේසි සහිතව, සැමට රැකියා සහතික කරනු!

* ගම්බද ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ නය අහෝසි කරනු!

මෙම ඉල්ලීම් පෙරදැරි කරගෙන, වික්‍රමසිංහ ආන්ඩුවට හා ධනපති පන්ති පාලනයට එරෙහිව දේශපාලන මහා වැඩවර්ජනයක් සූදානම් කිරීම අත්‍යවශ්‍ය ය.

නායකයන් විසින් සාමාජිකයන් ව්‍යාජ වැඩපිලිවෙලක කොටු කිරීම සඳහා වෘත්තීය සමිති යොදාගෙන තිබේ. තමන්ගේ තනි කැමැත්තට අනුව සමිතිවල වැඩපිලිවෙල තීන්දු කරන්නේ මේ සමිති නිලධාරින් විසිනි. කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් සාමාජිකයන්ට නැත. ඔවුන් ඉහත ඉල්ලීම වලටත් දේශපාලන මහා වැඩවර්ජනයක් සූදානම් කිරීමටත් විරුද්ධවනු ඇත. ආන්ඩුව සමග ගැටුමකට යාම සුදුසු නැතිබව ඔවුන් කියනු ඇත. වෘත්තීය සමිති ධනපති රාජ්‍යයේ අන්ඩක් ලෙස ක්‍රියා කරයි.

කම්කරුවන්ට තමන්ගේ අයිතීන් සඳහා අරගලය ගෙන යාම සමිති නිලධරයට භාරදිය නොහැක. තම අරගලය ගෙන යාමට, සමිති නිලධාරයෙන් ස්වාධීනව, සෑම වැඩ පොලකම, ආයතනයක ම වතු කරයේ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටි.

ජුනි 26 වනදා සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය මෙසේද සඳහන් කලේ ය:

“සාර්ථක දේශපාලන මහ වැඩවර්ජනයක් සඳහා, දිවයින පුරා කම්කරුවන්ගේ සහ ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට ඉදිරියට යාම අත්‍යවශ්‍ය” බව සහ “තම සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ යුද්ධයට එරෙහිව අරගලයේ යෙදී සිටින ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත් වීම අවශ්‍ය” බව ද සසප ප්‍රකාශය අවධාරනය කරයි.

මෙම ප්‍රකාශය හදාරන ලෙසද, ඒ පිලිබඳව අප සමග සාකච්චාවට එලෙඹෙන ලෙස ද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

Loading